Saturday, November 29, 2008

හඳ සහ නිව්යෝක් නුවර - මහගමසේකර

කළු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලටඅහසක් ගහක් කොළක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිර කළ කාමරයක
ඇඳක්, පුටුවක්, මේසයක්
මම.

මහ පොළොවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නගා කියමි.
නින්නාදව ආපසු එයි මගෙ කට හඬ
මගෙ මනටම,
යා යුතු අතක් නොදැන.

කවුළුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි.
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.

අසුවී විදුලි එළිය පිටාරයට
මොර දී ගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිව ගෙන යයි ඒ මේ අත
කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර.
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා අඳුනන්නෙක්
මෙතන නොමැත.

ඒ හැම දෙන මහ පොළොවේ අනික් පැත්තෙ
මට සිහි වෙයි.

මහා දුකින් ඉහළ බලමි.
දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ.

මා දන්නා අඳුනන
අපේ ගමේ වෙල් එළියට පායන හඳ.

3 comments:

  1. තව ඕනෑ

    ReplyDelete
  2. තාක්ෂණය අතරේ රසවිඳින්නට යමක්...

    ReplyDelete